ජානක ඉලුක්කුඹුර විසින් ඇඳි චිත්‍රයක් හා ලියූ ලිපියක්

ජානක ඉලුක්කුඹුර විසින් ඇඳි චිත්‍රයක් හා ලියූ ලිපියක්

භද්‍රජී මහින්ද ජයතිලක
(ජානක ඉලුක්කුඹුර විසින් ඇඳි චිත්‍රයක්)

හන්තාන කඳු පෙල හඳට ආවඩා…
සරසවියට පිනි පොදක් වැටෙනවා…
මගේ හද මැදුරට අඳුර ගලනවා…
බට්ටිත්තෙක් මගේ දුකට හඬනවා…

කෝ ඈ කොහිද මගෙ රන් කිරිල්ලී…
ඇයිදො ගියේ ඉගිල්ලී….
මා මෙහි හැරදා…
ඇතයි ඔබ ගිය දුර ඈතයි…
නිවහන මගේ සීතයි…
එන්න යලි පියඹා….
——————-
මේ ගෙවෙන්නේ අසිරිමත් සාහිත්‍ය මාසයේ සුන්දරතම දවස් කිහිපයයි. පොත් සහ අප අතර බැඳීම පුදුමාකාර එකක්. කුඩා කාලයේ අපගේ සිත්ගත් පත්තර සහ පොත්පත් පිටු පෙරලා නැහැයට ලං කර එහි නැවුම් කඩදාසි සුවඳ විඳි අයුරු තවම මතකයේ පවතී. මෙවර වැඩකටයුතු හේතුවෙන් මුල් දවස් කිහිපය මග හැරුණත් ඊයේ දවසේ පෙරුම් පුරා පොත් ප්‍රදර්ශනය වෙත ගියේ ඒ චමත්කාරය නැවත විඳ ගැනීමටය. එය සැණකෙළි ස්වරූපයෙන් එලෙසින්ම, නැතහොත් පෙරටත් වඩා ඉහළින් පැවතීම සතුටට කරුණකි.

අද දවසේ මේ සටහන සහ සිතුවම වෙන්වන්නේ 70 දශකයේ සිට මා ඔබ අසා හුරුපුරුදු සෞන්දර්ය විශයෙහි පැතිකඩ ගනනාවකම විහිදී කටයුතු කරන දක්ෂතම සම්මානණීය චරිතයක් වෙනුවෙනි. ඔහුගේ නිර්මාණ තුළින් ආසක්තවූ මා කාලෙක සිට ඔහු ගැන කිසියම් සටහනක් තැබීමට පෙරුම් පිරුවෙමි. ඉහත මා එක්කර ඇති සුන්දර ගීත කොටස දුටු සැණින් ඔහු කවුරුන්ද යන්න ඔබ එක්වරින්ම පවසනු නොඅනුමානය.

ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙක්, ලේඛකකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, ගුරුවරයෙක්, ගේය පද රචකයෙක්, නළුවෙක්, ගායකයෙක් සහ මෙහි මා හට සඳහන් කිරීමට නොහැකිවූ ක්ෂේත්‍ර ගනනාවක සක්‍රීයව කටයුතු කරනා
එකම පුද්ගලයෙකු වන ඔහු භද්‍රජී මහින්ද ජයතිලක නම් කෘතහස්ත කලාකරුවායි. ඔහු ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී විකාශන ආයතනය ආරම්භ කිරීමට දායක වූ බවක් කලකට පෙර පැවති රූපවාහිනී සාකච්ඡාවකදී පවසා සිටියා යම් මතකයක් පවතී. මෙලෙසින් ගත්කල ජීවිත කාලය අතරතුරේ මනුශ්‍යයෙකුට කල හැකි සේවය මෙතෙකැයි කියා කිව නොහැකි බව ඔහු අපට ක්‍රියාවෙන්ම ඔප්පුකොට ඇත්තේය.
————-
ඔහු උපත ලබන්නේ 1948 වර්ශයේ නොවැම්බර් මස 20 වැනිදාකය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසැල් අවදියේ සිටම දෙස් විදෙස් පොතපත කියවීමට සහ ලිවීමට මහත් රුචියක් දැක්වීය. ස්ව උත්සාහයෙන් වඩවාගත් ලිවීමේ කුසලතාවය පෙරදැරි කොටගෙන ගැටවර වියෙහිදීම ඔහු නිර්මාණකරණයට පිවිසීම විශේෂත්වයකි.
මේ කුසලතාවය නිසාම මුලින්ම ගුවන්විදුලියේ ළමා පිටියට නාට්‍යය පිටපත් රචනය කරන්නට ඔහුට මග පෑදෙන්නේය. එහි සාර්ථකත්වය සමග එකල බෙහෙවින්ම ජනප්‍රිය ‘ගුවන්විදුලි රඟ මඩල’ සඳහා නාට්‍යය පිටපත් රචනයට එක්වීය. කොටස් වශයෙන් විකාශනය වූ ‘උළමාගේ රාත්‍රිය’ ගුවන්විදුලි නාට්‍යය එකල ශ්‍රාවකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වුනි. තවත් අතකින් තමාම සිංහල සහ ඉංග්‍රීසි පිටපත් රචනය කරමින් වේදිකා නාට්‍යය රංගනයට පිවිසෙන්නේය.
මුල් අවධියේ මේ සියලු කටයුතු අතරේ වසර කිහිපයක් බැංකු සේවයෙහි ඔහු නියුතු විය.
සුදු හංසයෝ ඉගිල ගියහ තුළින් පටන් ගත්කල ඔහු ලියූ නවකතා ගනන සියය ඉක්මවයි. මේ අනුව වැඩිම පොත් ප්‍රමාණයක් ලියූ ශ්‍රී ලාංකීය නවකතාකරුවන් කිහිපදෙනා අතරට ඔහුද එක්වන්නේය.
ඉසංකාගේ ලෝකය( සරසවිය), සමුද්‍රසිරි(තරුණි), හංස ගීතය(දිවයින), කුරුළු තලාව(දිවයින), පරෙවි පොකුණ(දිවයින), හන්තානයි පුරා හඳයි(කුමරි), සැන්දරසං ඇත්තෝ(සිළුමිණ), සංකර දූවරු(දිවයින), තුන්වැනි ලෝකයේ මාකෝපෝලොලා(සිව් රැස), ඇත් සොහොන ළඟ ගැහැනිය(සර්වෝදය) ඔහු කොටස් වශයෙන් ප්‍රසිද්ධ පුවත්පත් සඳහා ලියූ නවකතා වන අතර පසුකාලයේ මේ සැම නවකතා පොත් වශයෙන් එළිදැක්වුනි.
ඔහු ලියූ සෑම නවකතා පොතක්ම මා කියවා නොමැති වූවත් සැලකිය යුතු ප්‍රමාණයක් කියවූයෙමි. ඒ අතුරෙන් සුදු හංසයෝ ඉගිල ගියහ, දියරැළි නිහඬයි, සුරදූත පුර, සසර සරන්නෝ, වැව් ඉස්මත්ත, නන්දනීගේ ස්වයංවරය, ගිණි සහ සෙව්වන්දි, කතලුගල අන්දරය, පවුරු බැඳී රාජ්‍ය, ගඟ ළඟ පෙම් මග පාළුවෙලා, ඉසංකාගේ ලෝකය, සමුද්‍රසිරි, රන් දඩයම, සංකර දූවරු, කුරුළු තලාව (1,2) වැනි පොත්වලට මා ඉමහත් කැමැත්තක් දක්වන්නෙම්. ඔහු කතාවක් ගොනුකර ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් සිත්ගන්නාසුලුය. ඒ දෙබස්, සංවාද ඇතුළු සියල්ල ඔහුටම ආවේණික රටාවකි. ඒ සෑම කතාවකම අවසානය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ තැනකට ගෙනඒමට ඔහු සමත්වේ. එමෙන්ම ඔහුගේ පොතක් කියවූ පසු කාලයක් යනතුරු එයින් ඇතිවන කිසියම් කම්පනයක් මා සිත තුළ පවතින්නේය. එයයි ඔහුගේ පොත්වල ඇති සුවිශේෂත්වය. වර්තමානයේ බොහෝවිට රූපවාහිනී නාලිකා මගින් මුදාහැරෙන ඒ වෙලාවට අමුණන ලද ටෙලිනාට්‍ය කතා පුවත් දෙස බලනා විට කණගාටුවක් ඇතිවේ. අතරින් පතර උසස් නිර්මාණ තිබුණත් වැඩි ප්‍රමාණයක් විකාශනය වන්නේ අවර ගනයේ හරසුන් ඒවා බව පැවසිය යුතුමය. එවන් බොහෝ අවස්ථාවලදී ඔවුන් භද්‍රජී වැන්නෙකුගේ කතාවක් ඔස්සේ නිර්මාණයක් නොකරන්නේ මන්දැයි මගේ සිත නොයෙක්විට විමසයි.
‘සුරදූත පුර’ නවකතාව තුළින් ඇමරිකාව පිලිබඳව අප නොදත් පසුබිමක් පෙන්වාදෙයි. එමෙන්ම ‘සංකර දූවරු’ එතෙර යන කාන්තාවන් කියවිය යුතුම පොතක් ලෙසිනුයි මා දකින්නේ.
ඔහුගේ ‘වැව් ඉස්මත්ත’ මා වඩාත් ප්‍රියකල කිහිපවාරයක් කියවූ පොතකි. දශක කිහිපයක සිට ඇමෙරිකාව වැනි රටක ජීවත්වන ඔහුට තම උපන් රටෙහි අසිරිය, වටිනාකම, එදා තිබූ ගැමි සිරිත් විරිත් අමතකව නොතිබීම ගැන සතුටක් ඇතිවේ. ඔහු ඇමරිකාවේ පදිංචිව සිටියත් සිතින් ජීවත්වෙන්නේ ලංකාවේ බව ඔහුගේ පොත් අපට පහදා දෙන සත්‍යයයි.
ජේසු තුමන් දඹදිව විසූ වගයි( Juesus Lived in India), යව්වනයේ පුරෝගාමියෝ( Young Pioneers), සුවඳ පැන්(Perfume), Doctor Zhivago ඇතුළු තවත් පොත් කිහිපයක් ඔහු සිංහලට පරිවර්තනය කල පොත් අතර කැපී පෙනේ.
තවද බෞද්ධ පසුබිමක් සහිත ‘දිනෙක කුසිනාරාවේ’ සහ ක්‍රිස්තුස් වහන්සේ මේ ලොව විසූ කාලය ඇසුරු කොටගෙන ‘ගෙත්සෙමෙනි සන්ධ්‍යාව’ ඔහු අතින් ලියවුණු අගනා කෘතීන් දෙකකි.
Wanderers in Iterniti ඔහු ඉංග්‍රීසි බසින් ලියූ නවකතා අතර වෙයි.

ඔහු ලියූ ‘බොරදිය සුදු පෙන’ නවකතාව සඳහා පිටකවරයක් අඳින්නට අවස්ථාවක් මට හිමිවිය. නමුත් එම පොත් ප්‍රකාශකගේ කිසියම් අතපසු වීමකින් එහි මගේ නම සඳහන් නොවීය. කෙසේනමුදු මා ප්‍රියකල ලේඛකයෙකුගේ නිර්මාණයකට දායක වන්නට ලැබීම සතුටකි.

70 දශකයේ අග කාලයේ ගුවන්විදුලිය මගින් ඇසුන ‘බට්ටිත්තා’ ගීතය එක රැයින් ජනප්‍රියත්වයට පත්වුනි. එය අද දිනයේද කාගෙත් මුවග රැදුණු ගීතයකි. භද්‍රජී නම් ගායකයා ගැන කතිකාවක් ඇතිවන්නේ එතැන් සිටය. ඉන් අනතුරුව ‘දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි’.., සිරි දැරු මල් උයනේ අතරු අතරු බඹර ලතාවයි, සුළඟ වගේ එන්නම් ඇවිත් ඔබ ළඟ ඉන්නම්.., සසර සයුරෙන් එතෙර වෙනකං ඔබේ අත මං අරන් යන්නම්.., වැහි නැති අඳුරු රැයේ අකුණක් ලෙසින්.., පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී.., සාගරේ ගැඹුරුයි ආකාසේ අඳුරුයි.., වැනි ගීත ගනනාවක් ඔහු විසින් රචනා කර තමාගේම තනු ඔස්සේ ගායනය කලේය.
ඔහු තම නිර්මාණයන් උදෙසා සම්මාන සහ අගැයුම් ගනනාවකින් පිදුම් ලැබුවේය. ‘පවුරු බැඳි රාජ්‍යය’ සඳහා ඩී. ආර්. විජයවර්ධන සම්මානය ඔහුට හිමිවුනි.
මීට අමතරව බෞද්ධ තේමාවක් ඔස්සේ ලියූ (දිනෙක කුසිනාරාවේ, විශාලා, කසාවත) යන කෘතීන් තුන සඳහා All Ceylon Buddhist Congress සම්මානය, ඔහු ලියූ වේදිකා නාට්‍යය පිටපතක් වන ‘රෝස පාට පුංචි ගෙයක්’ උදෙසා එදිරිවීර සරත්චන්ද්‍ර සම්මානය, ‘කඳු ශිඛරයි ගැඹුරු හෙළයි’ සඳහා සංස්කෘතික සංගමයේ විශේෂ සම්මානය, සර්වෝදය මගින් ජීවිතේ එක්වරක් පිදෙන ‘කලා දීපනී’ සම්මානය සහ ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු පදනම මගින් ඔහුට ‘ විශ්ව කීර්ති කලා ශූරී’ සම්මානය පිරිණැමීය. මීට අමතරව ඔහු දැනට ජීවත්වන ඇමෙරිකාව තුල විවිධ සංගමයන් සහ ආයතන මගින් සම්මාන අගැයුම් ගනනාවකින ඔහුව පුදනු ලැබීය.
ඔහු ලියා අධ්‍යක්ෂණය කල ‘ධන කුවේරයෝ’ ටෙලිනාට්‍ය 1984 වර්ශයේදී රූපවාහිනීය මගින් විකාශනය කෙරිණ. සම්පූර්ණයෙන්ම රූපවාහිනී මැදිරියක් තුළ නිමකල ටෙලිනාට්‍යක්ද ඔහු අධ්‍යක්ෂණය කලේය.
2009 වසරේදී ඔහු ලියූ ‘වැහි දවස’ නවකතාව පාදක කොටගෙන චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කර ඇත්තේය.
ඔහු ඇමරිකාව බලා පිටත්ව යන්නේ 1975 වසරේදීය. එදා මෙදාතුර කාලය දිගු එකක් වුවද ඔහුගේ පොතපත කියවන අපට හැඟෙන්නේ ඔහු තවම ලංකාවේ සිටිනා වගකි. එමෙන්ම ඉඩක් ලද සැණින් මෙහි පැමිණෙන ඔහු නොයෙකුත් වැඩසටහන් සහ නිර්මාණ වැඩකටයුතු වලට සහභාගි වන්නට අමතක නොකරයි. එවන් අවස්ථාවක ‘සිරස’ නිවේදක කිංස්ලි රත්නායක මෙහෙයවූ ‘කෙලින් කතාව’ වැඩසටහන තුළින් හරබර සාකච්ඡාවකට සහභාගි වූ අයුරු තවම මතකයේ පවතී.
බොහෝවිට සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය භූමියේ කුටි අතරේ කිසියම් තැනෙක මේ අපූරු සැහැල්ලු ප්‍රියමනාප පුද්ගලයාගේ දසුන අපට දැකගන්නට හැකිවෙයි. ගියවර යම් අසනීප තත්වයක් මත ඔහු මෙහි නොපැමිණියේය. මෙවරද පැමිණි වගක් දැනගන්නට නොලැබුණි. කොහොමවුනත් මේ සුන්දර චරිතය සමග දොඩමළු වීමට මෙතෙක් මට නොහැකි විය.

අවුරුදු 40 ක් ඉක්මවා කලාවේ පැතිකඩ ගනනාවක් සියුම් ලෙස ස්පර්ශ කරමින් ඔහු සිදුකලාවූ මෙහෙවර අප්‍රමාණය. මෙහිදී අපට ඇති පුදුමය නම් මේ සියල්ල එක් මිනිසෙකුගේ අප්‍රතිහත ධෛර්යය මත බිහිවූ අග්‍රගණ්‍ය නිර්මාණ වීමයි. ඔහුගේ නිර්මාණ බොහෝමයක පදනම මනුෂ්‍ය සාධාරණත්වය සහ ජාති කුලමල බේදයකින් තොරවූ සහජීවනයයි.
ශුද්ධ වූ බයිබලය ඇසුරෙන් ඔහු ලියූ ‘ගෙත්සෙමෙනි සන්ධ්‍යාව’ නවකතාව කියවන්නෙකුට කිසිවිටෙක මෙය ලියා ඇත්තේ බෞද්ධ පසුබිමක ඉපදුණ අයෙකු විසින් යැයි නොහැගෙයි. ඒ තරමටම ඔහු ඒ පසුබිමට සිතින් කිඳා බැස තම නිර්මාණය ඉදිරිපත් කිරීම එහි අරුතයි. ඔහු මුල් තැන දෙන්නේ නිර්මාණයට වීම මා ඔහු තුළින් දුටු සුවිශේෂත්වයයි.

දයාබර භද්‍රජී මහින්ද ජයතිලක කලාකරුවාණනි., ඔබට අප සැම එක්ව නිදුක් නීරෝගී භාවය පතන්නෙමු. ඔබගේ ඉදිරි කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි.!!!
මේ සිතුවම ඔබටයි.

Comments are closed.