භද්‍රජී මහින්ද ජයතිලක දැන් “ඉසිවර වෙදෙක්‌”

“ඔබේ දැසින් ඔබ දකින ලෝකය ඔබගේය. එහෙත් එය අයිතිකර ගැනීමට නොසිතන්න. එහි රසය, සුවය හා සුවඳ පමණක්‌ අත් විඳින්න.” ගිටාරය පසෙකින් තබා ඔහු යළිත් අප හා පිළිසඳරේ යෙදෙයි. ඔහු කියන කතා ඔහුගේ ගීත සේම අපේ හදවත් වෙළාගනී. විටෙක හේ රාවණා ගැන කතා කරයි. එසැණින්ම රාවණා ගැන ඔහු ලියූ ගීතයක්‌ ගිටාරය වයමින් ගායනය ද කරයි. තවත් විටෙක පිටසක්‌වලින් ආ ජීවීන් ගැන අපූරු කතා ගොන්නක්‌ම දිග හරියි. ඒ සියල්ලටම වඩා අප මවිත කරවමින් මිනිස්‌ සිරුරේ ඇති චක්‍ර හත මුදාහැරීම තුළින් ගොනු කරගන්නා ශක්‌තිය මෙහෙයවා රෝගි වූවකුට සුවය ළඟාකරදීමේ අසිරියද පෙන්වයි.

මේ සුන්දර මිනිසා අන් කවරකු හෝ නොව 70 දශකයේ සොඳුරු මතකයන් තම හදවතේ රඳවාගෙන සිටින ඕනෑම රසවතකුට නම ඇසූ පමණින්ම සිහියට එන භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ අපූරු මිනිසාය.

සරස්‌වතියගේ බැල්ම නොඅඩුවම ලබාගත් විශ්මිත කලාකරුවාය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ශාන්ත ඩිමාස්‌ වීදියේ පදිංචි භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ කලාකරුවා සමඟ ඔහුගේ සොයුරියගේ මාදිවෙල නිවසේදී හෝරා කීපයක්‌ ගත කිරීමේ භාග්‍යය පසුගියදා අපට හිමි විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වූ භද්‍රජීගේ සමකාලීන පාසල් මිතුරන් අතර, රනිල් වික්‍රමසිංහ, අනුර බණ්‌ඩාරනායක, මලික්‌ සමරවික්‍රම වැන්නෝද වූහ. ගීත ලිවීමටත් ඊටම ගැළපෙන චිත්‍රයක්‌ නිර්මාණය කිරීමටත් භද්‍රජී තුළ වූයේ සුවිශේෂී හැකියාවකි.

– ජයන්ත විඡේසිංහ

Quoted from Divaina. Sep. 22, 2012. Please visit the paper to read the complete article.